නාවික හමුදාව විසින් අලම්පිල් මුහුදු තීරයේදී මිණිමුතු මෝරේකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 10) මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරේකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කර ඇත.

මුලතිව්, ධිවර පරික්‍ෂක කාර්යාලයට අනුයුක්ත ධීවර පරික්‍ෂක මොහාන් කුමාර මහතා අලම්පිල් පිහිටි නාවික අනුඛණ්ඩය මෙම මෝරා සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රීලංනානෞ ගෝඨාභය ආයතනයේ අණදෙන නිලධාරිතුමා ඇතුළු නාවික පුද්ගලයින් දැඩි පරිශ්‍රමයක් දරා මෝරා මුහුද සැතපුම් 03 ක් පමණ දුරකට ගෙන ගොස් පිටත් කර යැවිමට පියවර ගෙන ඇත. මෝර පවුලට අයත් විශාලතම විශේෂයක් වන මොහු සාමාන්‍ය‍යෙන් කිලෝ ග්‍රැම් 9000 ක් පමණ බරින් යුතු හා දිගින් මීටර් 9 පමණ විශාලව වැඩෙන මෝර විශේෂයකි. මොවුන් සාමාන්‍යයෙන් වසර 70- 100 ක් පමණ ජීවත් වන මෝර විශේෂයකි. තවද, මෙම මෝර විශේෂය ලෝකයේ වඳවි ගෙන යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේදි මෙම මෝරා ඇල්ලීම තහනම් කර ඇත.