නාවික පවුල්වල දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
 

2017 වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 10) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි. නාවික පුද්ගලයින්ගේ දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යාමට කෙරෙන දිරි ගැන්වීමක් වශයෙන්, නාවික හමුදා සුභසාධක අංශය මඟින් මෙකී ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙහිදී පැමිණි සිටි පිරිස ඇමතූ මාණ්ඩලික ප්‍රධානීතුමන් සාමාන්‍ය පෙළ උසස් අයුරින් සමත් වූ දූ දරුවන් වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය ප්‍රශංසාව ප්‍රකාශ කර සිටි අතර, තම දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කර ගැනීමින් මෙරට අනාගතය භාර ගැනීම උදෙසා මහත් උනන්දුවෙන් හා කැප කිරීමෙන් උසස් පෙළ කඩ ඉම ජය ගැනීමට වෙර දැරිය යුතු බවත් ප්‍රකාශ කර සිටින ලදී. එමෙන්ම, සියලුම දෙනා හට ඉදිරි උසස් පෙළ විභාගය ජය ගෙන විශ්වවිද්‍යාල වරම් ලැබීමට හැකිවේවායිද ආශිර්වාද කරන බවද එතුමන් ප්‍රකාශ කර සිටියේ ය.

මෙහිදී 2017 අ.පො.ස (සා.පෙළ) විභාගයට වලින් විශිෂ්ඨ සාමාර්ථ නවයක් (9 A) ලැබූ නාවික හමුදා සේවයෙහි යෙදී සිටියදී මියගිය, ආබාධිත තත්ත්වයට පත්වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 06 දෙනෙකු සහ දැනට සේවයෙහි නිරත නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 27 දෙනෙකු ඇතුළුව දූ දරුවන් 33 දෙනෙකු විසින් මෙම ශිෂ්‍යත්වය හිමි කර ගන්නා ලදී. ඒ අනුව සෑම මසකටම රුපියල් 5000.00 බැගින් වසර දෙකක් සම්පූර්ණ වන තුරු ඔවුන් හට මෙම ප්‍රතිලාභය හිමි වනු ඇත. ඒ සඳහා ලංකා බැංකුවේ අරඹන ලද බැංකු ගිණුම් වලට අදාළ පාස් පොත් සහ සහතික පත් ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ශිෂ්‍යත්ව ලාභී දූ දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.