නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (සැප්තැම්බර් 11) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව ප්‍රදේශයට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව මුර සංචාරයේ යෙදි සිටි වේග ප්‍රහාරක යාත්‍රාවන් නිරීක්ෂණය කොට ඇති අතර, ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ ඒම වේග ප්‍රහාරක යාත්‍රා දෙක එම ට්‍රෝලර් යාත්‍රාව දෙසට යාත්‍රා කරන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් යාත්‍රාව පරික්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, පිරිමි පුද්ගලයින් අසුනවදෙනෙකු (89) සහ එක් කාන්තා‍වක් (01) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත. තවද, මෙම පුද්ගලයින් මඩකලපුව, තොඩුවාව, උඩප්පුව, හලාවත, මන්නාරම, අම්පාර සහ මාතලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වි ඇත.

අනතුරුව මෙම පුද්ගලයින් කොළඹ, වරාය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කොළඹ, වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.