ලෝක කැරම් ශූරතාවය සඳහා සහභාගී වූ නාවික හමුදා සාමාජිකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නාවික හමුදාව නියෝජනය කළ සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයා සහ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා ක්‍රීඩිකාව අද (සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවීය. එහිදී දක්වන ලද සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමා විසින් ඔවුන් ඇගයීමට ලක් කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා කැරම් සංචිතයේ සභාපති, කොමාණ්ඩර් ගාමිණි රත්නායක මහතා සහ එහි ලේකම්, ලුතිනන් කොමාණ්ඩර් රොෂාන් ජයතිලක මහතා සහභාගී විය.

මෙම තරඟාවලියේදී කේවළ අංශ නියෝජනය කරමින් සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු සිව්වන ස්ථානය ද සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා හයවන ස්ථානයද හිමි කර ගැනීමට සමත් වන ලදී. තවද, යුගල අංශයන් නියෝජනය කරමින්, පිරිමි අංශයෙන් සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු සහ චමිල් කුරේ තෙවන ස්ථානය ද, කාන්තා යුගල අංශය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා සහ යසිකා රාහුබද්ද තෙවන ස්ථානය ද හිමි කර ගැනීමට සමත් වන ලදී. ඒ අනුව, ලෝක කැරම් පිරිමි ශූරතාවය ශ්‍රී ලංකාව හිමි කර ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කැරම් කාන්තා අනුශූරතාවය හිමි කර ගැනීමට සමත් වන ලදී.