බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 12) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් එම් මොනිරුෂාමන් මහතා (Captain M. Moniruzzaman) ඇතුළු බංගලාදේශ නියෝජිත පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.  අනතුරුව බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාවේ නිරික්‍ෂණ චාරිකා වාරයක ද නිරත වන ලදී.

‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව දිගින් මීටර් 115.2 ක් හා පළලින් මීටර් 13.1 කින් යුක්ත වන අතර,  278 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. දින 05 ක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි කාර්යය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 16 වන දින මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.