මුහුදේදී අනතුරට පත් ධීවරයින් සොයා ගිය නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (සැප්තැම්බර් 12) ගාල්ලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවර යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.  

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 30 ක් බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධිවර යාත්‍රාවක් පෙරලී අනතුරට පත්වි ඇති බව එම ධීවර යාත්‍රාව අසලින් ගමන් කළ වෙළඳ නෞකාවක් මඟින් කොළඹ සාගරික මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordinating Centre - MRCC) වෙත දැනුම්දී ඇත. ඒ අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව  දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද උදෑසන එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීමේ මෙ‍හෙයුමකින් එක් ධීවරයෙකුගේ ජීවිතය ‍බේරා ගැනීමට හැකිවී ඇති අතර, තමා සමඟ තවත් ධීවරයින් හයදෙනෙකු (06) සිට ඇති බව එම ධීවරයා විසින් නාවික හමුදාව වෙත ප්‍රකාශ කර ඇත. ක්‍ෂණිකව ක්‍රියාතමක වූ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් එම අනතුර සිදු වූ ස්ථානයේ සොදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී මියගිය පුද්ගලයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහ සොයා ගැනීමට ඔවුන් සමත් වී ඇත. තවද, අතුරුදහන්ව ඇති අනෙක් ධීවරයින් දෙදෙනා (02) සොයා නාවික හමුදාව තව දුරටත් සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

එමෙන්ම, බේරාගත් ධීවරයා ආරක්‍ෂාකාරි ලෙස ගාල්ල, වරාය පරිශ්‍රය වෙත රැගෙන එමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී. මෘත දේහයන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදා මුලස්ථානයේ පිහිටා ඇති සාගරික මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය භාවිතා කරනු ලබන වෙළඳ නෞකා, ධීවර යාත්‍රා මෙන්ම විවිධ සාගරික අධ්‍යයන හා සමික්‍ෂණ කටයුතු සිදු කරනු ලබන පුද්ගලයින් හට සිදුවන අනතුරු සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ප්‍රධාන මධ්‍යස්ථානයයි.  මෙම මධ්‍යාස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුළ අනතුරට පත් යාත්‍රා සහ නෞකා මුදවා ගැනීමේ කාර්යයන් රැසක් සම්බන්ධීකරණ කිරීම තුලින් ධීවරයින්ට සහ නාවිකයින්ට මහඟු සේවාවක් සැපයිමට මේ වන විට කටයුතු කර ඇති අතර, මෙවැනි මුදවාගැනීමේ මෙහෙයුම් අවශ්‍යවු විටකදී ලබා දීමට මෙම මධ්‍යස්ථානය නිරන්තරයෙන් කටයුතු කරන ලබයි.