ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2018 සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) ඊයේ (සැප්තැම්බර් 13) සාර්ථකව නිමාවට පත්විය. වරාය ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් හා මුහුදේදී සිදුකරන මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ පුරා දින 7 ක් පැවති මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 03 ක්, ඉන්දීය නාවික හමුදාවේ නෞකා 03 ක් සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 02 ක් මෙන්ම හෙලිකොප්ටර් යානයක් ඇතුළුව දෙරටේ නාවික පුද්ගලයින් 1000 පමණ සහභාගිවිය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සයුරළ, සමුදුර සහ සුරනිමිල යන නෞකා ද ඉන්දියානු නාවික හමුදාවට අයත් ඉන්දියනු නාවික නෞකා සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ද මේ සඳහා එක්වන ලදී.

මෙහිදී නෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස, වෙඩි තැබීමේ අභ්‍යාස, හෙලිකොප්ටර් යානාවක් මගින් නෞකා අතර භාණ්ඩ හා පුද්ගලයින් හුවමාරු කිරීමේ අභ්‍යාස, නෞකාවකට ප්‍රවිශ්ඨ වී සිදුකරන සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අභ්‍යාස හා සන්නිවේදන අභ්‍යාසයන් කරන ලදී. තවද, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සහ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝනයට අනුයුක්ත නාවික පුද්ගලයින් ද මෙම අභ්‍යාසය සඳහා සහභාගි වීය. ඒ අනුව, කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට දෙරටෙහි නාවික හමුදාවන්ට මෙම සාගරික අභ්‍යාසය ඉතා වැදගත් විය.

තවද, මෙම අභ්‍යාසය සඳහා මෙවර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් සහභාගීවන ලද අතර, එහිදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මතට හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය සිදු කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් විසින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මත පිහිටි හෙලිකොප්ටර් යානා පථයට (Helipad) හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය සිදු කරන ලදී. ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් භාවිතා කරන ලද අතර, එම හෙලිකොප්ටර් යානාව ගොඩබෑමේ අභ්‍යාසය ඉතා සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් සමත් විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් හට මෙන්ම ගුවන් හමුදා ගුවන් නියමුවන් හට ද එය නවතම අත්දැකීමක් වූ අතර, ඒ සඳහා නාවික හමුදා සහ ගුවන් හමුදා පුද්ගලයින් දැඩි උනන්දුවකින් සහභාගී වන ලදී.

මෙවැනි සුවිශේෂි ඒකාබද්ධ අභ්‍යාසයන් සිදු කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, අනාගතයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ගුවන් හමුදාව සමඟ එක්ව කටයුතු කිරිමට මෙමඟින් මහත් පිටිවහලක් සැළසෙනු ඇත.