නිවසක් ගිනි ගැනිමෙන් අවතැන් වු ධීවර පවුලකට නාවික හමුදාවෙන් උපකාර
 

තලෙයිමන්නාරම පියර්ගම ප්‍රදේශයේ සැප්තැම්බර් මස 14 වන දින විදුලි කාන්දුවක් නිසා හටගත් ගින්නකින් සිංහල ධීවර පවුලකට අයත් නිවසක් සම්පුර්ණයෙන් විනාශයට පත්විය.‍ මෙහිදී කිසිවකුටත් ජීවිත හානියක් සිදු ‍නොවූ අතර, එම නිවසේ තිබූ සියළු බඩුබාහිරාදිය සහ ධීවර කටයුතු සඳහා ‍යොදා ගන්නා ධීවර ආම්පන්න  විශාල ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී තිබුණි.

මෙම ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද විගස, උතුරු මැද නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගම‍ගේ මහතාගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතන‍යේ ගිනි නිවීමේ කණ්ඩායම සහ අමතර නාවිකයින් පිරිසක් කඩිනමින් ගින්න මැඩපැවැත්වී‍ම සඳහා එම ස්ථානයට  පිටත් කර හරින ලදි. නාවික පිරිස එම ස්ථානයට  ලඟා වන විට ද නිවස සම්පූර්ණ‍යෙන් ගිනි ගෙන විනාශයට පත් වී තිබු අතර, පසුව එම නාවිකයන් විසින් අවට නිවෙස් වලට ගින්න පැතිර යාම වැළැක්වීමටත්, ගින්නට හසු වු නිවසේ බඩුබාහිරාදිය හා ධීවර ආම්පන්න  සියල්ල එම ස්ථාන‍යෙන් ඉවත් කිරීමටත් කටයුතු කරන ලදි.

තවද, උතුරු මැද නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගම‍ගේ මහතා ඊයේ (සැප්තැම්බර් 16) එම ස්ථානය නිරීක්‍ෂණය සඳහා පැමිණ නිවැසියන්‍‍ගේ සුවදුක් විමසන ලද අතර, ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා සනීපාරක්ෂක උපකරණ ලබා දීමටත් කටයුතු කරන ලදි.