රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 19) කටයුතු කරන ලදී.  

පසුගිය සැප්තැම්බර් මස 11 වන දින කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සුමිත්‍රා” නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාවේ ගමන් ගත් එක් ධීවරයෙකු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වී තිබිණි.

මේ පිළිබඳව තොරතුරු ලද විගස දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක්, රෝගියා රැගෙන ඒම සඳහා කඩිනමින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, අසාධ්‍ය තත්වයේ පසු වූ රෝගියා වේග ප්‍රහාරක මුර යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව හම්බන්තොට වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා නාවික හමුදා රථයකින්ම හම්බන්තොට මහ රෝහල වෙත භාර දීමට කටයුතු කරන ලදී.