යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත අංගසම්පුර්ණ නව නිවසක්
 

රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන විරු සුමිතුරු පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නිවාස සහායක එස්එස් දසනායක නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. ඒ අනුව, ඊයේ (සැප්තැම්බර් 20) බණ්ඩාරගම, මිල්ලෙනිය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නව නිවස ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මැතිතුමා සහ රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිණී, අනෝමා ෆොන්සේකා මැතිනියගේ සුරතින් විවෘත කිරීම සංකේතවත් කරමින් පීත්තපටිය කපා එම නිවස නාවික රණවිරුවා හට භාර කරන ලදී.

රණවිරු සේවා අධිකාරිය විසින් ජාතියේ මුර දේවතාවුන් හට සිදු කරන සත්කාරයන්ගෙන් එක් පියවරක් ලෙස මෙය හැදින්විය හැකි අතර, මෙම නිවස ඉදිකිරීම සඳහා ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 1.2 ක මූල්‍ය දායකත්වය දරා ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා පූර්ණ ශ්‍රම දායකත්වය මත මෙම නිවස ඉදිකරන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන් විසින් එල්ලකරන ලද ප්‍රහාරයක් හේතුවෙන් 1992 සැප්තැම්බර් මස 18 වන දින ආබාධිත තත්වයට පත්වු මෙම රණවිරුවා පසුව  2012 පෙබරවාරී මස 13 වන දින සිට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වා ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සුභසාධක, කොමදෝරු සුදත් ලේල්වල මහතා, අධ්‍යක්‍ෂ ජෙනරාල් රණවිරුසේවා අධිකාරිය, මේජර් ජෙනරාල් නාපාගොඩ මහතා, ඩේවිඩ් පීරිස් සමුහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, සමන්ත සිල්වා මහතා, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගිවි සිටියහ.