නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදු කරන ලද මුර සංචාරයකදී අන්තර්ජාතික මුහුදු සීමාව හා වැලිපර 7 අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනඒම සඳහා මුහුදේ දමා ගොස් තිබූ බීඩිකොළ කීලෝග්‍රෑම් 606.4 ක් පසුගිය සැප්තැම්බර් 17 අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, රේගුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්අඩිච්චේනි ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 07 දෙනෙකු පසුගිය සැප්තැම්බර් 18 වන දින අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 03 සහ ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 19 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වංකාලේ මුහුදු වෙරළ තීරයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උප්පුරල් ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 07 දෙනෙකු පසුගිය සැප්තැම්බර් 22 වන දින අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 200 ක්, තහනම් දැල් 01 සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මසුන් තොගය, තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.