පුත්තලම, වෙල්ලමුන්දලම ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.955 ක් නාවික හමුදාව සොයා ගනි
 

ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මුලස්ථානයට අයත් වෙල්ලමුන්දලම නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 26) පුත්තලම, වෙල්ලමුන්දලම ප්‍රදේශ‍යේ කැලෑවක සඟවා තිබියදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.955 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, අද උදෑසන ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මුලස්ථානයට අයත් වෙල්ලමුන්දලම නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් තිදෙනෙකු (03) විසින් පුත්තලම කලපුවට ආසන්න එළුවන්කුලම ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ කරුවල්කුඩා සහ කොල්ලන් කනත්ත අතර ප්‍රදේශයේ පා මුර සංචාරයේ යෙදි සිටියදි, වෙරළේ සිට ගොඩබිම කැලෑ ප්‍රදේශය දෙසට වැටි තිබූ සැක කටයුතු පා සටහන් ඔස්සේ සිදු කළ සෝදිසි කිරිමකදි කැලෑව තුළ සඟවා තිබූ සැක කටයුතු මලු තුනක් (03) නාවිකයින් නිරික්‍ෂණය කොට ඇති අතර, පසුව සිදු කළ වැඩිදුර පරික්‍ෂා කිරිමේදි කුඩා පාර්සල් 52 ක අසුරන ලද කේරළ ගංජා තොගය සොයා ‍ගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය පුත්තලම කලපුව ඔස්සේ ගොඩබිමට ගෙනවිත් පසුව බෙදාහැරිමේ අරමුණින් සඟවා තබා ඇති බව සැක පළ කරන අතර, සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වනාතවිල්ලුව, පොලිසිය වෙත භාරදිමට කටයුතු කෙරුණි.