නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අලෙවිකිරීම, පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය සහ කඩොලාන පරිසරය විනාශ කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 24 වන දින උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පලෙයිතිව් ප්‍රදේශයට නාවික සැතපුම් 2.7 ක් දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමෙන් පසු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවී සිටිම හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මුලතිව් පොලිස් විශේෂකාර්ය බළකායට අයත් නිලධාරීන් පිරිසක් සමග සම්බන්ධ වී කල්ලපාඩු වෙරළ පාරේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පසුගිය සැප්තැම්බර් 24 වන දින අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ කේරළ ගංජා ග්‍රෑම් 530 ක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා, අදාල කේරළ ගංජා තොගය සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 25 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සාරධාපුර, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් සමඟ එක්වී ආන්දන්කුලම් ප්‍රදේශයේදී නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ වොටර් ජෙල් කූරු 10 , විදුලි නොවන ඩෙටනේටර් 17 ක්, වෙඩි නූල් අඩි 32.10 ක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ ට්‍රක් රථය නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය සැප්තැම්බර් 26 වන දින පාමුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් නරිවිලකුලම් වෙරළ තීරයේදී නීති විරෝධි ලෙස කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ කපන ලද කඩොලාන ශාක 32 ක්, පිහි 02 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, කඩොලාන ශාක, පිහි සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, වන සංරක්‍ෂණ නිලධාරී වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂකගේ ඉල්ලීම පරිදි පසුගිය සැප්තැම්බර් 26 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අම්ඹන්තිව් මුහුදු ප්‍රදේශයේ සොදිසි කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නීති විරොධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 03ක් සහ වල්ලම් යාත්‍රා 02 ක් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයට අනුයුක්ත නිලධාරින් භාරයට ගෙන ඇත.

තවද, පසුගිය සැප්තැම්බර් 29 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් එරක්කණ්ඩි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ වොටර් ජෙල් කූරු 10, ධීවර යාත්‍රා අවසරපතක් සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරුපැදියක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, වොටර් ජෙල් කූරු, ධීවර යාත්‍රා අවසරපත සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.