ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක, කොමදෝරු සුජිව සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ (Captain Atsuhiro Morore) මහතා සහභාගිවී සිටියහ.