බෝම්බ සහ පතොරම් තොගයක් නාවික හමුදා කිමිදුම් අංශය සොයා ගනී
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් ඊයේ (ඔක්තෝබර් 02) ආරුගම්බේ කලපුවේ සිදු කළ මෙහෙයුමකින් අනතුරුව බෝම්බ සහ පතොරම් තොගයක් සොයා ගැනීමට සමත්වි ඇත. එහිදී, මිමි 81 මෝටාර් බෝම්බ 07 ක් සහ ඒ සඳහා භාවිතා කරනු ලබන ෆියුස් 02 ක්, ෆියුස් සහිත මිමි 60 මෝටාර් බෝම්බ 03 ක්, 7.62 x 39 මිමි උණ්ඩ 79 ක් සහ ආර්පීජි බෝම්බය සඳහා භාවිතා කරනු ලබන ස්ප්ලින් චාර්ජස් 01 ක් සොයා ගෙන ඇත.

ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ මඟපෙන්විම යටතේ සහ ආරුගම්බේ පිහිටි නාවික අනුඛණ්ඩය භාර නිලධාරිගේ අධික්‍ෂණය යටතේ පැය 03 කට අධික කාල සීමාවක් මෙම කිමිදුම් මෙහෙයුම සිදු කරන ලදී. මෙමඟින් ආරුගම්බේ කලපුව භාවිත කරනු ලැබූ ජනතාවට සහ ඒ ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවූ ධීවර ප්‍රජාවට සිය කාර්යයන් ඉටු කර ගැනීමට කිසිදු බධාවක් සිදු ‍නොවූ අතර, වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා අදාල බෝම්බ සහ පතොරම් තොගය පොතුවිල්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.