ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි. ඒ සඳහා රුපියල් මිලියන 57.5 ක මුදලක් නාවික සහන පදනම මඟින් ලබාදෙන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම්, කපිතාන් (සැ) අචල ද සිල්වා මහතා ද සහභාගී වී සිටියහ.

නාවික හමුදාවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලද අතර, මේ වන විට ජ්‍යේෂ්ඨ නාවිකයින් 1628 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික හමුදා සහන පදනම කටයුතු කොට ඇත. එමෙන්ම, ඉදිරි කාල සීමාව තුළදී තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 3344 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.