චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 04) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ෂා කීයි මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ද සහභාගී විය.

සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 135 ක් සහ පළලින් මීටර් 18.6 කින් යුත් ‘හායි යැන්ග්ඩාඕ’ නෞකාව ටොන් 7676 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 07 වන දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.