ශ්‍රීලංනානෞ සාගර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල යන නෞකාවන් ඊයේ (ඔක්තෝබර් 06) පුහුණු අභ්‍යාසයන් ඇතුලත් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. වරායෙන් පිටත් වන සාගර සහ සුරනිමිල නෞකාවන් වෙත නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් නාවික චාරිත්‍ර හා සම්ප්‍රදායානුකූලව සමුදීම සනිටුහන් කළ අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.  

සිව්දින නිල සංචාරයක් සඳහා එක්වන මෙම නෞකාවන් එළඹෙන 08 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත සේන්දූ විමට නියමිතය. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් (සංඥා) ජනක නිශ්සංක මහතා කටයුතු කරන අතර, සමස්ථ නැව් මුළුව නිලධාරීන් සහ නාවිකයන් ඇතුළුව 200 දෙනෙකුගෙන් සමන්විතය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා මහතා කටයුතු කරන අතර, එහි සමස්ථ නැව් මුළුව නිලධාරින් සහ නාවිකයින් ඇතුළුව 120 දෙනෙකුගෙන් සමන්විතය

ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ සුරනිමිල යන නෞකාවන් ද්විත්වය සිය කර්තව්‍යයන් සාර්ථක ලෙස නිමා කරමින් එළබෙන (ඔක්තෝබර් 11) කොචින් වරායෙන් නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතය.