අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා දායකත්වය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට දකුණු සහ බස්නාහිර පළාත් සඳහා සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. ඒ අනුව මේ වන විට ඩිංගි යාත්‍රා 07 ක් සහ හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් සහිත නාවික සහන කණ්ඩායම් 10 ක් පසුගිය දිනවල අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට ඇත.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, ඉමදුව සහ හිනිදුම යන ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 04 ක් යොදවා ඇති අතර, කළුතර දිස්ත්‍රික්ක‍යේ මතුගම, වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 06 ක් යෙදවිමට නාවික හමුදාව කටයුතු යොදා ඇත. එමෙන්ම, ඉමදුව ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ‍පැකට් 625 ක් ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, අගලිය පාලම හරහා කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔවුන් ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජලය බැස යාම කඩිනම් කිරීමට කටයුතු කරන ලදී. තවද, මේ වන විට නාවික හමුදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 236 දෙනෙකු හට සිය සේවය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත්ව ඇත. එමෙන්ම, අයහපත් කාළගුණික තත්ත්වයද නොතකමින් නාවික හමුදා සහන කණ්ඩායම් තව දුරටත් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටි.