ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
 

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 14 ක් සහ ඩිංගි යාත්‍රා 11 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ, තවලම, හිනිදුම, අවිත්තාව සහ වක්වැල්ල යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ කටුපොත සහ අකුරැස්ස යන ප්‍රදේශ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වත්තල යන ප්‍රදේශයේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ අවිත්තාව පාලම අසල කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) සහ නාවික හමුදා කිමිදුම් ඒකකයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. සහන කණ්ඩායම් ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජලය බැස යාම කඩිනම් කිරීමට කටයුතු කරන ලදී.