මුහුදේ අතරමං වූ ධීවරයින් 7 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහාය
 

ඇමෙරිකානු නාවික හමුදා සහාය ඇතිව දකුණු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව මඟින් ඊයේ (ඔක්තෝබර් 09) ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් 7 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට සමත් විය.

“සුමා බබා-03” නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය ඔක්තෝබර් මස 03 වන දින ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, ගාල්ල මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝශයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. එම ධීවර යාත්‍රාව අසලින් ගමන් කළ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ඇමෙරිකානු නාවික නෞකා ‘ඩිකේටර්’ (USS ‘Decatur’) නෞකාව මඟින් ඔවුන්ව නිරික්‍ෂණය කර ඇති අතර, එහිදි ඔවුන් එම ධීවර යාත්‍රාව සහ ධීවරයින් නිරුපද්‍රිව බේරා ගැනීමට කටයුතු කර ඇත. අනතුරුව ඇමෙරිකානු යුධ නෞකාව මඟින් කොළඹ සාගරික මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordinating Centre - MRCC) වෙත දැනුම්දී ඇති අතර, ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව එම ධීවරයින් සහ යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා පිටත් කර යැවිමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ඇමෙරිකානු නාවික නෞකා ‘ඩිකේටර්’ නෞකාව මඟින් බේරාගත් ධීවර යාත්‍රාව සහ ධීවරයින් ගාල්ල වරායට දකුණු දෙසින් නාවික සැතපුම් 130 ක් පමණ දුරකදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව වෙත භාර දිමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව නෞකාව මඟින් එම ධීවරයින් සහිත යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස ගාල්ල, ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.