ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
 

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 18 ක් සහ ඩිංගි යාත්‍රා 13 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශ, කොළඹ දිස්ත්‍රික්කයේ වත්තල යන ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ, තවලම, නියගම, බද්දේගම, අවිත්තාව සහ වක්වැල්ල යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස යන ප්‍රදේශවල සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ අවිත්තාව පාලම සහ වක්වැල්ල පාලම අසල කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) සහ නාවික හමුදා කිමිදුම් ඒකකයට මෙන්ම මැරින් බලඝණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. ඒ අනුව එම සහන කණ්ඩායම් ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජලය බැස යාම කඩිනම් කිරීමට මේවන විට කටයුතු කරමින් සිටි.