ඉන්දීය නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ නෞකාව කොළඹ වරායට
 

ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා ‘රාජ්පුත්’ නෞකාව අද (ඔක්තෝබර් 11) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් රජේෂ් නායර් මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගී විය.

දිගින් මීටර් 146 ක් සහ පළලින් මීටර් 15 කින් යුත් ‘රාජ්පුත්’ නෞකාව ටොන් 4560 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට නියමිතව ඇති අතර, සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 12 වන දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.