ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 14 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
 

2018 වර්ෂයේ පලමු ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ නිලධාරින් පස්දෙනෙකු (05) සහ ස්වේච්ජා අංශයට අයත් කාන්තා නිලධාරින් තිදෙනෙකු (03) ඇතුළුව නිලධාරින් නවදෙනෙකු (09) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා සහභාගී විය.

ගෞරව සම්මාන උත්තමාචාරය පිළිගැනීමේන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අංශ පිරික්සීම සිදු කල අතර, ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින්, විසිර යන නවක නිලධාරීන් සහ ඔවුන්ගේ දෙමාපියන් අමතමින්, අධිකාරියටපත් මෙම නිලධාරින් විනයගරුකව හා අවංකව තම රාජකාරි ඉටු කිරීම අපේක්‍ෂා කරන බවත්, රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරිභාවය ආරක්‍ෂා කර ගනිමින්, නාවික හමුදාවේ සහ තම නිපුණතාවයන් පෙරට වඩා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරනු අතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කර සිටින ලදී. ඔවුන්ට පැවරෙන වගකීම් සහ රාජකාරීන් නිසි අයුරින් ඉටු කිරීමට වග බලා ගන්නා ලෙසත්, නාවික හමුදාවේ උන්නතිය උදෙසා කැපවීමෙන් රාජකාරී සිදු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එම අවස්ථාව සඳහා නැගෙනහිර විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.