‘ගාලු කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය - 2018’ මාධ්‍ය දැනුවත් කිරීම
 

ගාලු කථිකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (ඔක්තෝබර් 16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 ‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම’ (Synergizing for collaborative maritime management) යන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය 2018 ඔක්තෝබර් මස 22 සහ 23 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට සියළු කටයුතු මේවන විට සූදානම් කර ඇත.

තවද, මාධ්‍යවේදින් අමතමින් අදහස් දැක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා ප්‍රකාශ කර සිටියේ නව වන වරටත් සංවිධානය කරනු ලබන මෙවර සම්මන්ත්‍රණය සඳහා රටවල් 50 ක විදේශ නියෝජිතයින් සහ  සාගරික කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන දේශීය නියෝජිතයින් විශාල ප්‍රමාණයක් ද මෙවර සම්මන්ත්‍රණය සඳහා සහභාගිවිමට නියමිත බවයි. මෙම සාගරික සම්මන්ත්‍රණය කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක සහ සාගරික සංවිධානයන්වල වෘත්තිකයින්  හට සිය අදහස් හුවමාරු කර ගත හැකි හොඳ ‍අවස්ථාවක් බව ප්‍රකාශ කළ මාණ්ඩලික ප්‍රධානීතුමා ආරක්‍ෂක ආමාත්‍යාංශය සහ නාවික හමුදාව එක්ව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ මුලිකත්වයෙන් සංවිධායක මණ්ඩලය මෙම සම්මන්ත්‍රණයේ සංවිධාන කටයුතු මේ දිනවල ඉතා හොඳින් සිදු කරමින් පවතින බව වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී

මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා ද සහභාගීවූ අතර, විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් රැසක් මේ සදහා සහභාගි වී සිටියහ.