ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ හදිසි ආපදා කළමනාකරණයට පෙර දැනුම්දිමේ භූගෝලිය තොරතුරු පද්ධතියක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ හදිසි ආපදා කමිටු රැස්විම පසුගිය ඔක්තෝබර් මස 15 වන දින වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගරයේදී පැවැත්විණ.

එහිදි, ශ්‍රී ලංකා නාවික හමුදා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ භූගෝලීය තොරතුරු පද්ධති ඒකකය මගින් ගංවතුර ආපදා තත්වයන් සදහා පෙර දැනුම්දීමේ හා සහන සැලසීමේ පද්ධතියක් හදුන්වාදීම නාවික හමුදා, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (භූගෝලීය තොරතුරු පද්ධති) සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (පද්ධති කළමණාකරණ) කොමාණ්ඩර් (තොතා) නදීර කුලපති මහතා විසින් සිදුකළ අතර, එය අමාත්‍ය ගරු පාලිත රංගේ බණ්ඩාර මහතාගේ සහ පැමිණ සිටි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ඇගයිමට සහ පැසසුමට ලක් විය.

තවද, මෙම පද්ධතිය පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබාදිම ද එහිදි සිදු වූ අතර, හදිසි ආපදා තත්වයන්හිදි නාවික හමුදාව දක්වන සහයෝගය පිලිබඳව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ‍ඇතුළු නාවික හමුදා ආපදා කළමණාකරන කණ්ඩායම වෙත අමාත්‍යතුමා සිය ස්තූතිය පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (ටෑස්) ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේ විධායක නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) බුද්ධික තරංග මහතා ඇතුළු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගිවි සිටියහ.