නාවික හමුදා විරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ රැසක්
 

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 18 වන දින කොළඹ, නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.

ඒ අනුව, මෙත් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 64 දෙනෙකු,  ‘අපි වෙනුවෙන් අපි’ සම්පුර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 15 දෙනෙකු, ‘අපි වෙනුවෙන් අපි’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 114 දෙනෙකු, ‘ඉඩම්’ හිමිකම් ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 02 දෙනෙකු සහ ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යාධාර ව්‍යාපෘතිය යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 18 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළුව නාවික විධාන 06 කට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් 213 දෙනෙකු හට ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රථිලාභ හිමි කර දෙන ලදී.

ඒ අනුව, මෙම උත්සවයේ නාවික හමුදා පුද්ගලයින් හට ප්‍රථිලාභ පිරිනැමීම සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහභාගිවී සිටි අතර, මෙම උත්සව‍යේ නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් ප්‍රථිලාභ පිරිනැමීමේ කටයුතු සුදානම් කරන ලද්දේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සුභසාධක, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු නාවික හමුදා සුභසාධක අංශය විසිනි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්‍ෂක ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ප්‍රථිලාභ ලබා ගන්නා ලද පවුල් වල සාමාජිකයින් රැසක් සහභාගිවී සිටියහ.