සහයෝගීතාවය තුලින් සමුද්‍රිය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම සමඟින් 2018 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නව වන වසරටත් සංවිධානය කරනු ලැබූ 2018 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 23) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. “සහයෝගීතාවය තුලින් සමුද්‍රිය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම” යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා රටවල් 52 ක සහ ජාත්‍යන්තර සංවිධාන 22 ක විදෙස් නියෝජිතයින් සහභාගී විය.

නාවික හමුදාව විසින් වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගාලු කතිකාව අන්තර්ජාතික සම්මන්ත්‍රණය, කලාපීය සාගරික සහයෝගීතාවය හා අන්තර්ජාතික වශයෙන් බලපා ඇති සාගරික අභියෝගයන් සඳහා විසඳුම් සාකච්ජා කිරීම මූලික කරගනිමින් පවත්වනු ලබයි. ගෝලීය වශයෙන් සාගරික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් වන කරුණු රාශියක් පිළිබඳ ඉතා වැදගත් අදහස් හුවමාරු කර ගැනීමට මෙවර සමුළුව මගින් හැකියාව ලැබිණි.

තවද, ඊයේ දින සම්මණ්ත්‍රනයේදී “සහයෝගීතාවය තුලින් සමුද්‍රිය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම” යන තේමාව යටතේ පහත සඳහන් මතෘකා යටතේ විදෙස් නාවික හමුදා නිලධාරින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සිය නිබන්ධන ඉදිරිපත් කරන ලදී.

මානුෂිය ආධාර හා ආපදා සහන කටයුතු සඳහා නව කලාපීය ක්‍රියාවලියක් ගොඩනැගිම - ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ සමුද්‍රිය විධානයේ සහ මාණ්ඩලික විද්‍යාලයේ උප සභාපති, රියර් අද්මිරාල් කේට්සුෂි ඔමචි මහතා

මානුෂිය ආධාර හා ආපදා සහන කටයුතු කලාපීය සම්පත් එකාබද්ධ කිරීම - පකිස්ථානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී (පුහුණු හා ඇගයීම්) රියර් අද්මිරාල් මුහම්මද් ෆායියාස් ගිලානි මහතා   

මානුෂිය ආධාර හා ආපදා සහන කටයුතු සඳහා පිලිබඳ මානුෂිය දෘෂ්ටි කෝණයකින් බැලිම - ජාත්‍යාන්තර රතු කුරුස කමිටුවේ සන්නද්ධ හා ආරක්‍ෂක අංශ ප්‍රධානී, කෙන් හියුමි මහතා

කලාපය තුළ නීල ආර්ථිකය යාථාර්තයක් බවට පත් කිරීම:  අභියෝග හා විසඳුම් - චිතගොන්හි පිහිටි බංග්ලාදේශ නාවික හමුදා දියත් විධානය භාර අණදෙන නිලධාරි, රියර් අද්මිරාල් අෂ්රාෆුල් හැක් මහතා

නීල ආර්ථිකයේ ප්‍රතිලාභ නෙලා ගැනීම සඳහා සම්පත් සහ ප්‍රවීණත්වය හසුරුවාගැනීම - ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි, ආචාර්ය බීපීටී ප්‍රදීප් කුමාර මහතා

සමුද්‍රීය පරිසර පද්ධති සංරක්‍ෂණය සඳහා සමුද්‍රීය ආරක්‍ෂණ සහයෝගීතාවය - ඉන්දුනීසියානු නාවික හමුදා අණ හා මාණ්ඩලික විද්‍යා‍ලයේ ආඥාපති, රියර් අද්මිරාල් ආචාර්ය අමරුල්ලා ඔක්ටේවියන් මහතා

වඩා උසස් සමුද්‍රීය කටයුතු පිලිබඳ දැනුවත් භාවය තුළින් සමුද්‍රීය ආරක්‍ෂක ගැටළු අවම කිරීම: මෑත කාලීන විකාශනය සහ අභියෝග - රාජකීය කැනේඩියානු නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික උපායමාර්ග, කපිතාන් මැතිව් කෝටස් මහතා

සමුද්‍රීය තොරතුරු හුවමාරු කර ගැනීම සහ සහයෝගීතාවය තුළින් ඒවා හසුරුවාගැනීම - ඔස්ට්‍රේලියානු නාවික හමුදා දියත් විධාන අණදෙන නිලධාරි, ජොනතන් මේඩ් මහතා

කලාපය තුළ දැනටමත් පවතින සමුද්‍රීය කටයුතු පිලිබඳ දැනුවත් භාවයේ වාසි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම - ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික පුහුණු සහ ජලමාන විද්‍යා අංශයේ නියෝජ්‍ය ප්‍රධානී, කොමදෝරු වයිඑන් ජයරත්න මහතා

එමෙන්ම, ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ අවසන් දිනය වූ අද දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් සමුළුවේ ස්තූති කතාව සිදු කරන ලදී. වාර්ෂිකව පවත්වනු ලබන මෙම කතිකාව හරහා සහයෝගීතාවය තුලින් සමුද්‍රිය කළමණාකරණය සඳහා ඒකාබද්ධ කර ගැනීම සම්බන්ධයෙන් ගොඩනැගෙන පුළුල් සාකච්ජාවන් හා විශ්ලේශනයන් නව මාවතකට පිවිස ඇති බවද සඳහන් කරන ලදී.

මෙම සමුළුව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දුන් ආරක්ෂක අමාත්‍යංශයටත්, එම අවස්ථාව සඳහා සහභාගී වූ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්හට ශ්‍රී ලංකා, ආරක්ෂක අමාත්‍යංශය හා නාවික හමුදාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය එහිදී පුද කර සිටින ලදී. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ හා ඒ සඳහා දිරියක් වූ දෙස් විදෙස් නියෝජිතයින්, ආයතන හා සංවිධානයන් හි විද්වතුන් හට ද සිය ‍ගෞරවනීය ස්තූතිය පුද කිරීමට ද රියර් අද්මිරාල් සිල්වා මහතා එය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව, පුරා දින 2 ක කාලයක් පැවති ගාලු කතිකාව 2018 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඉතා සාර්ථක අයුරින් මෙලෙස නිමාවට පත් විය.