යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවාස දෙකක්
 

ආරක්‍ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හා වීර සෙබළ පදනම මඟින් යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් හට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවාස දෙකක් පසුගිය ඔක්තෝබර් 25 වන දින ගලෙන් බිඳුනු වැව උපුල්දෙනිය ප්‍රදේශයේදී සහ රත්නපුරය පමුණුවත්ත කොලොන්න ප්‍රදේශයේදී පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය යටතේ රු.750,000.00ක් සහ ශ්‍රිලංකා නාවික හමුදා සුභසාධක අරමුදලින් රු.1,089,464.00ක මුදලක් වැයකරමින් ගලෙන්බිඳුනුවැව උපුල්දෙනිය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ සුරතින් මියගිය නායක කිමිදුම්, කේඒඑස්සී කුමාර යන නාවික රණවිරුවාගේ ආදරණීය බිරිඳ වෙත පරිත්‍යාග කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ‘මහානාග’ ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නිශාන්ත රණවීර මහතා සහ ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයන් හා ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

නායක කිමිදුම් කේඒඑස්සී කුමාර නාවික රණවිරුවා ශ්‍රි ලංකා නාවික නෞකා ‘මහානාග’ ආයතනය යටතේ නාවික අනුඛණ්ඩ ඔලුවිල් වෙත අනුයුක්තව කිමිදුම් රාජකාරියේ මහියංගනය නාගදීප වැවේ ප්‍රතිසංස්කරණ රාජකාරි ඉටුකරමින් සිටියදී සිදුවු අනතුරක් හේතුවෙන් 2017 අප්‍රේල් මස 07 වන දින මියගොස් ඇත.

තවද, වීර සෙබළ පදනමේ රුපියල් 1,200,000.00 ක මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් සහ දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් යුද්ධයේදී ආබාධිත තත්වයට පත් බලනැවි ආර්ජීකේ වික්‍රමසිංහ නාවික රණවිරුවා වෙනුවෙන් කොලොන්න පමුණුවත්ත ප්‍ර‍දේශයේ ඉදිකරන ලද මෙම නව නිවස ශ්‍රීලංනානෞ ‘රුහුණ’ ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් තුෂාර කරුණාතුංග මහතාගේ සුරතින් බලනැවි ආර්ජීකේ වික්‍රමසිංහ නාවික රණවිරුවා හට පරිත්‍යාග කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික පුද්ගලයන් හා ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

බලනැවි ආර්ජීකේ වික්‍රමසිංහ නාවික රණවිරුවා ශ්‍රීලංනානෞ ‘විජයබා’ ආයතනයට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් 1999 පෙබරවාරි මස 23 වන දින ආබාධිත තත්වයට පත්වී ඇත.

කොලොන්න පමුණුවත්ත ප්‍ර‍දේශයේ ඉදිකරන ලද මෙම නව නිවස

ගලෙන්බිඳුනුවැව උපුල්දෙනිය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස