බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති තුමා ඇතුළු දූත පිරිස වැලිසර නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නරඹයි.
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති, අතිගරු ගැස්ටන් සින්ඩිම්වෝ මහතා ඇතුළු දූත පිරිස නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නැරඹීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුර වෙත ඊයේ (ඔක්තෝබර් 28) දින පැමිණියහ. එහිදී  බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවීන්ද්‍ර රණසිංහ යන මහත්වරුන් විසින් දූත පිරිස උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
 
අනතුරුව උප ජනාධිපති, අතිගරු ගැස්ටන් සින්ඩිම්වෝ මහතා ඇතුළු දූත පිරිස නාවික බෝට්ටු නිෂ්පාදනාංගනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන සෙඩ්රික් යාත්‍රා (Cedric craft) සහ වේව් රයිඩර් වර්ගයට අයත් යාත්‍රා (Wave Rider craft) විශේෂයෙන් නිරීක්‍ෂණය කල අතර, බුරුන්ඩි ජනරජයේ අභ්‍යන්තර ජල මාර්ගවල ගමනාගමනය සඳහා මෙම යාත්‍රාවන් අනාගතයේදි මිලදී ගැනීමට  ඔවුන් අපේක්‍ෂාවෙන් සිටී.

තවද, ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති තුමන් හට සමරු තිළිණ පිරිනැමීමක් ද සිදු කෙරිණි.