ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා  තුනක් (03) ඊයේ (ඔක්තෝබර් 29) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවට අනුයුක්ත නාවිකයින් විසින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා දෙකක් සහ උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් කච්චතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක් ධීවර යාත්‍රාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා නාවික නෞකා ‘එලාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.