ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 19 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි පරිසර විෂය ක්ෂේත්‍රයට අදාළව විශිෂ්ඨ මෙහෙවරක් සිදුකළ ආයතන, සංවිධාන, පුද්ගලයන්, ජනමාධ්‍යවේදීන් හා කර්මාන්ත ඇගයීමකට ලක්කර ඔවුනට රාජ්‍ය ගෞරවය ලබාදී සිදුකරන ලද මෙහෙවර තව තවත් දිරිගැන්වීම අරමුණු කොට ගෙන මෙම සම්මාන උළෙල පැවැත්විමට කටයුතු කර ඇත.

ඒ අනුව, පරිසරය අලංකරනයෙන් යුතුව හරිත ඵලදායි ක්‍ර‍මවේදය අනුගමනය කරමින් නාවික මහ රෝහල් පරිශ්‍රය පවත්වාගෙන යාම අගය කරනු වස් වැලිසර පිහිටි නාවික මහ රෝහල වෙත සම්මානයක් පිරිනමන ලදී. එහිදී නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් එම ඇගයීමේ සම්මානය ලබා ගන්නා ලදී.