නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 30 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් උල්ලියක්කලී, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 37 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ඔක්තෝබර් 31 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ලංකාපටුන ප්‍රදේශයේ පාමුර සංචාරයේ යෙදිසිටියදී සඟවා තිබූ කේරළ ගංජා කුඩා පැකට් 205 (ග්‍රෑම් 141) ක්  සොයාගෙන ඇති අතර, එම කේරළ ගංජා පැකට් තොගය  ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර, පොලීසීය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
 
පසුගිය ඔක්තෝබර් 31 වන දින නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් විශේෂ පාමුර සංචාරයක් සිදු කරමින් කරන ලද සෝදිසි  මෙහෙයුමකදී සින්න ගුන්ඩුව වෙරළ ප්‍රදේශයේ තිබී සැක කටයුතු පාර්සල් 04ක් සොයාගෙන ඇත. එහි තිබී කීලෝග්‍රෑම් 154ක බරකින් යුත් බීඩි කොළ  නාවික හමුදාව භාරයටගත් අතර, එම බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

ගිනිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 02 වන දින පානම උතුරු කළපුව ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව මසුන් අල්ලා ප්‍රවාහනය කිරිමට සුදානම්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද පොකිරිස්සන් 218 ක් (කිලෝග්‍රෑම් 84.5), ඩිංගි යාත්‍රාවක්, මරුති සුසුකී වර්ගයේ වැන්රථයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද පොකිරිස්සන් තොගය, ඩිංගි යාත්‍රාව, වැන් රථය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පානම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

වයඹ නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නාවිකයින් පිරිසක් පසුගිය නොවැම්බර් 01 වන දින පලුගහතුරේ වෙරළ ප්‍රදේශයේදී සැකකටයුතු බැගයක් සොයාගෙන ඇති අතර එහි තිබී ග්ලයිපොසෙට් (Glyphosate) පැකට් 133 ක්  සොයාගෙන ඇති අතර, එම ග්ලයිපොසෙට් පැකට් තොගය  ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය, පොලීසීය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, ගිනිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 03 වන දින උල්ල මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැති ව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද පොකිරිස්සන් 21 ක්, කැනෝයි යාත්‍රා 04 ක්, තහනම් දැල් 24 සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද පොකිරිස්සන් තොගය, කැනෝයි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා උල්ල, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.