අසාධ්‍ය ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට පසුගිය නොවැම්බර් 05 වන දින ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කෙරුණි. ඒ අතරතුර ඉන්දියාවට අයත් වෙළඳ නෞකාවක් වන VISWA VIJE නැමැති නෞකාව මඟින් එම රෝගි වූ ධිවරයා බහුදින ධිවර යාත්‍රාවෙන් රැගෙන ඇති අතර, අනතුරුව එම රෝගියා පවුල් තුඩුවට නාවික සැතපුම් 07 ක් දුරකදි නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාර දිමට කටයුතු කර ඇත.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම රෝගියා ආරක්ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර, පසුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.