නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 02 වන දින ජින්නපුරම් ප්‍රදේශයේදී සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 573 ක්, ඩිංගි යාත්‍රා 03 ක්, තහනම් දැල් 03 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, ඩිංගි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 03 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් දළුව ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 03 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, නියෝජ්‍ය ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 05 වන දින නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සමඟ සම්බන්ධවී සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී ජෙලට්නයිට් කූරු 20 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ජෙලට්නයිට් කූරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පසුගිය නොවැම්බර් 06 වන දින වංකාලේ වෙරළ ප්‍රදේශයේදී සැකකටයුතු පොලිතීන් බෑග් 41 ක් සොයාගෙන ඇති අතර, එහි තිබී ග්ලයිපොසෙට් (Glyphosate) පැකට් 9532 ක් සොයාගෙන ඇති අතර, එම ග්ලයිපොසෙට් පැකට් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 08 වන දින නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමඟ සම්බන්ධවී සව්ත්බාර් ප්‍රදේශයේදී පඳුරක් යට සඟවා තිබූ ජෙලට්නයිට් කූරු 20 ක් සොයාගෙන ඇති අතර, එම ජෙලට්නයිට් කූරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 10 වන දින අරිප්පු පුදේශයට බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීතී විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 8 ක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.