නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි
 

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් 1993 නොවැම්බර් 09 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 25 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පසුගිය නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය. විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, විශේෂ යාත්‍රා බලඝණයේ විශ්‍රාම ලැබූ නාවික පුද්ගලයන්, එම බලඝණයේ නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

ඒ අනුව, පසුගිය නොවැම්බර් මස 09 වන දින සියළු රණවිරුවන්ට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා පසුදින උදෑසන ගරුතර මහා සංඝරත්නය 25 ක් නමක් විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි. අනතුරුව මාතෘ භූමිය ආරක්ෂා කිරීම සඳහා තම ජීවිතය පූජා කළ විශේෂ යාත්‍රා බලඝණ රණවිරුවන් සිහිකිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇගයීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබූ අතර, එහිදි තම රට වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණ විරුවන් සිදුකළ උදාරතර කැපකිරීම් අගයනුවස් එම බලඝණයේ විශ්‍රාමික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හට විශේෂ සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී.

තවද, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වන දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් මහතාගේ ආදරණිය බිරිඳ වන ඩෘකි මාර්ටෙන්ස්ටයින් මහත්මිය හට සහ සිය මාතෘ භූමිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරමින් රණවිරුවෙකු හට ලබා ගත හැකි උසස්ම පදක්කම වන වීර විභූෂණය පදක්කමෙන් පිදුම් ලැබු මානුෂිය මෙහෙයුමේදි සිය ජිවිතය කැප කළ ප්‍රධාන සුළු නිලධාරි කේජි ශාන්ත නාවිකයාගේ ආදරණිය බිරිඳ වන රුවනි දිසානායක මහත්මිය හට විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරුණි.

අනතුරුව මාතෘ භූමිය ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිතය පූජා කළ විශේෂ යාත්‍රා බලඝණ රණවිරුවන් සිහිකිරීම පිණිස 25 වන සංවත්සරයට සමගාමිව ඉදිකරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා, නාවික හමුදා, ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති සහ සැලසුම්, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ මහතා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.