කොළඹ, කොටුව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ කොටුව, කුමාර වීදියේ මහල් වෙළෙඳසැලක ඉහල මාලයේ ඊයේ (නොවැම්බර් 16) හදිසියේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය සිය දායකත්වය සපයන ලදී. ඒ අනුව, කොළඹ කොටුව, කුමාර වීදියේ පිහිටි වෙළෙඳසැලක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ ඒකකයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම සඳහා නාවික පුද්ගලයින් 12 දෙනෙකු ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසර් 02 ඇතුළත් වූ අතර, මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් එම වෙළෙඳසැල පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.