ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් 12 වන දින සිට දින 06 ක් පුරා ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ක්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර, ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගීවි සිටියහ. එහි අවසන් තරඟය පසුගිය නොවැම්බර් 17 වන දින නැගෙනහිර නාවික විධානය සහ දකුණු නාවික විධානය සමඟ පැවැති අතර, තරඟාවලියේ ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය. තවද, එහි අනුශූරතාවය දකුණු නාවික විධානය හිමිකර ගන්නා ලදී.

දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ බළ සෙබල එච්එල්එස්සී අනුරුද්ධ ක්‍රීඩකයා හිමි කර ගත් අතර, වසරේ නැගී එන පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ශිෂ්‍යභට නිලධාරි බීඑස්එල්එම් ෂිංඥෝ ක්‍රීඩකයා හිමි කර ගන්නා ලදි. එමෙන්ම, වයසින් වැඩි පලපුරුදු පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය නිවාස සහායක එච්ඩී අලහකෝන් ක්‍රීඩකයා හිමි කර ගත් අතර, දක්ෂතම ගෝල රකින්නාට හිමි සම්මානය ලුතිනන් ආර්ආර්ආර් රාජපක්‍ෂ ක්‍රීඩකයා හිමි කර ගන්නා ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම ක්‍රීඩකයින් විශාල පිරිසක් ද සහභාගිවි සිටියහ.