ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද වෛද්‍ය කඳවුර සඳහා නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් පසුගිය නොවැම්බර් 17 වන දින වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී විශේෂ ක්‍ෂේත්‍ර සෞඛ්‍ය සායන ඇතුළුව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.

ඒ සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේන රූප ජයවර්ධන මහතාගේ උපදෙස් මත නාවික හමුදා වෛද්‍ය අංශයට අනුයුක්ත වෛද්‍යවරුන්, නිලධාරින් සහ නාවිකයින් මෙම වෛද්‍ය කඳවුර සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා වෛද්‍ය සාමාජිකයින් හට සිය සහයෝගය සහ දායකත්වය සපයා ඇත.

ළමා රෝග, ප්‍රසව, අක්‍ෂි, චර්ම, විකලාංග, විකරණවේදිය, පවුල් සෞඛ්‍ය යන ක්‍ෂේත්‍ර වල වෛද්‍ය විශේෂඥයන් සහ වෛද්‍ය රසායනාගාර ශිල්පීන් සහභාගී වු මෙම කඳවුරේදී රෝග පරීක්‍ෂාව, සියළු පරීක්‍ෂණ සහ ප්‍රතිකාරද නොමිලේ ලබා දෙන ලදි. ඒ අනුව, වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට දුෂ්කර වූ ප්‍රදේශයක් වන වැලිඔය ප්‍රදේශයේ රෝගීන් 1156 කට අධික පිරිසක් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.

මෙම වෛද්‍ය කඳවුර පැවැත්විම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය ඇතුළුව ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ නොමද පැසසුමට ලක් විය.