විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (United Nations Office on Drugs and Crime - UNODC) අනුබද්ධිත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ තෙවන කණ්ඩායමේ පුහුණු සමාප්ති උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකීරා සුගියාමා මහතා සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහාතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විය. තවද, නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීම, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් සහ ක්‍රමෝපායන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ලබා දුන් පුහුණුවීවෙන් ලද දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් තම හැකියාවන් විදහා දැක්වීම සඳහා ඔවුන් විසින් නාවික අභ්‍යාසයක් ද සිදු කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා ගෝලීය සමුද්‍ර අපරාධ මර්දන වැඩසටහනේ ප්‍රධානී, ඇලන් කෝල් මහතා, නැගෙනහිර නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නොයෙල් කළුබෝවිල මහතා සහ විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහභාගී වී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවන වරටත් පවත්වනු ලැබු මෙම පාඨමාලාව දින 06 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වූ අතර, පසුගිය නොවැම්බර් 19 වන දින සිට 24 වන දින දක්වා එය පැවැත්විය. ඒ අනුව ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් 20 දෙනෙකු සහභාගීවූ අතර, ඒ සඳහා ඉන්දුනීසියානු රේගු නිලධාරි 08 දෙනෙකු, මැලේසියානු වෙරළාරක්‍ෂක නිලධාරි 08 දෙනෙකු සහ පිලිපින වෙරළාරක්‍ෂක බලකායට අනුයුක්ත නිලධාරින් 02 දෙනෙකු සහ පොලිස් නිලධාරි 02 දෙනෙකු ඇතුළත් වීය. තවද, නෞකාවල සෝදිසි කටයුතු සිදු කිරීම සඳහා විශේෂ දැනුමක්  සහ අත්දැකිමක් ඇති පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්විම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.  

ප්‍රධාන ආරාධික අමුත්තන් වශයෙන් එක්වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකීරා සුගියාමා මහතා සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින්, උසස් නාවික පුහුණුවකින් පසු විසිර යන විදේශීය නාවිකයන් හට සුභපැතුම් එක් කළ අතර, සිය පුහුණුව සාර්ථකව නිම කිරීම සමබන්ධයෙන් ඔවුන්හට සහතික පත්‍ර ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි. අනතුරුව උත්සව අවස්ථාව ඇමතූ ගෝලීය සමුද්‍ර අපරාධ මර්දන වැඩසටහනේ ප්‍රධානී, ඇලන් කෝල් මහතා මෙම පුහුණුව ඉතා උසස් අයුරින් සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා  මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ එම කාර්ය මණ්ඩලයට මෙන්ම සමස්ථ නාවික හමුදාව වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කටයුතු කරන ලදී.