අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2018
 

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2018 ඊයේ (නොවැම්බර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

නැගෙනහිර, උතුරු, බටහිර  සහ දකුණූ යන නාවික විධානයන් නියෝජනය කළ තරඟකරුවන් රැසක් එහි අවසන් තරඟ වටයේදී සිය දක්ෂතා දක්වන ලදී. මෙම තරඟාවලියේ අරමුණ වුයේ සංඥා, කඹ හා ගැට යන විෂයයන් පිළිබඳ හොඳම නෞකාව සහ යාත්‍රාව තෝරා ගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව නියෝජනය කළ කණ්ඩායම සහ පී 423 හා පී 414 යන වේග ප්‍රහාරක යාත්‍රා නියෝජනය කළ කණ්ඩායම නෞකා සහ යාත්‍රා අංශය සඳහා වූ හොඳම Semaphore සහ Flashing ඉදිරිපත් කිරීමට හිමි කුසලාන හිමි කර ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නියෝජනය කළ කණ්ඩායම සහ යාත්‍රා අංශයෙන් සහභාගී වූ පී 410 වේග ප්‍රහාරක යාත්‍රා කණ්ඩායම දක්ෂතම කඹ හා ගැට (Rigging) කණ්ඩායම් වශයෙන් තේරී පත් විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නියෝජනය කළ කණ්ඩායම සහ පී 492 ක වේග ප්‍රහාරක යාත්‍රාව නියෝජනය කළ කණ්ඩායම දක්‍ෂතම ROR (Rule of the Road) කුසලානය හිමි කර ගන්නා ලදී.

තරඟාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අගය කරනු වස් ඔවුන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නියෝජනය කළ ලුතිනන් ඊඑච් අන්ගම්මන නිලධාරියා ROR අංශයේ දක්ෂතම නිලධාරියා වශයෙන් කුසලානය දිනා ගන්නා ලදී. කඹ හා ගැට අංශයේ දක්ෂතම නාවිකයා වශයෙන් පී 424 වේග වේග ප්‍රහාරක යාත්‍රා නියෝජනය කළ බල නාවික එම්ඒආර්ඩිආර් රත්නසිරි කුසලානය හිමි කර ගත් අතර, Semaphore සහ Flashing අංශයේ දක්ෂතම සංඥා නාවිකයා ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව නියෝජන කළ නායක සංඥා ඩීඑම්පී දිසානායක කුසලානය හිමි කර ගැනිණි.