ඉන්දියානු නාවික හමුදා ‘අද්මිරාල් කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේදි ශ්‍රි ලංකා නාවික හමුදා මධ්‍ය නිලධාරින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරයි
 

ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය (Indian Naval Academy) විසින් 09 වන වරට සංවිධානය කරන ලද ‘Admiral’s Cup Regatta - 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් මස 02 වන දින සිට දෙසැම්බර් මස 06 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඉන්දියාවේ ඊටිකුලම් බේ වෙරළ තීරයේදී පැවැත්විය. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන  ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය 33 වන බදවා ගැනීමට අනුයුක්ත මධ්‍ය නිලධාරි ගීත් ඉෂාරක සහ 59 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අනුයුක්ත මධ්‍ය නිලධාරි දිනිඳු ද සොයිසා යන නිලධාරින් දෙදෙනා සහභාගී විය.

දින පහක් පුරා පැවැති මෙම තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් දෙදෙනා සිය කැපී පෙනන දක්ෂතා විදහා දක්වමින් එම තරඟාවලියේ හයවන (06) ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම නාවික හා සාගරික විද්‍යාපිඨයට කීර්තියක් අත්කර දීමට සමත්ව ඇති අතර, මෙම ක්‍රීඩා සංචාරය සඳහා කණ්ඩායම් කලමණාකරු වශයෙන් නාවික හා සාගරික විද්‍යාපිඨයේ ශාරිරික අභ්‍යාසක පාසලේ අණභාර නිලධාරි, ‍ලුතිනන් රෝෂාන් ද සිල්වා මහතා සහභාගි වීය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රි ලංකාව, ඉතාලිය, සිංගප්පුරුව, ඇමෙරිකාව, සහ චිනය යන රටවල් ඇතුළු රටවල් 31 ක නාවික හමුදාවන් නියෝජනය කරමින් කණ්ඩායම් 31 කට අයත් පුහුණුවන නාවික නිලධාරින් 62 දෙදෙනෙකු සහභාගී වී සිටියහ. තවද, මෙම තරඟාවලිය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදා පුහුණුවන නිලධාරින් සහභාගි වූයේ 09 වන වතාවට වන අතර, මෙමඟින් ශ්‍රි ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරින් හට විදේශිය රටවල්වල පුහුණුවන නිලධාරීන් සමඟ සුහදශිලීත්වය වර්ධනය කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව හිමිව ඇත.

තවද, අදාල ක්‍රීඩකයින් ඊයේ (දෙසැම්බර් 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවීය. තරඟාවලියේදී දක්වන ලද දක්ෂතාවය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමා විසින් ඔවුන් ඇගයීමට ලක් කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා කණ්ඩායම් කලමණාකරු, ‍ලුතිනන් රෝෂාන් ද සිල්වා මහතා ද සහභාගී විය.