රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (දෙසැම්බර් 14) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් විමලතුංග මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1984 වර්ෂයේදී 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විමලතුංග මහතා මීට පෙර වයඹ සහ උතුරු නාවික විධානයන් භාර නියෝජ්‍ය ආඥාපති, නාවික හමුදා සැපයුම් කළමණාකරන මැදරිය භාර අධ්‍යක්‍ෂක සහ අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති සහ සැලසුම් ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.