අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය දෙසැම්බර් 13 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. අට වන වරටත් පැවති මෙම තරඟාවලි සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා සහභාගී විය.

සියළුම නාවික විධානයන් නියෝජනය වන පරිදි සරඹ කණ්ඩායම් 9 ක් මේ සඳහා සහභාගී වූ අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට දකුණු නාවික විධාන කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාවය හිමි කර ගැනීමට උතුරු නාවික විධානයට හැකියාව ලැබිණි. සමස්ථ තරඟාවලියේ දක්ෂතම අණදෙන්නා වශයෙන් උතුරු නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ ලුතිනන් ඩීජේකේඑස් සිරිවර්ධන කුසලානය හිමි කර ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් රැසක් සහභාගී වී සිටියහ.