ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් රවි මිෂ්රා මහතා ද සහභාගි වී සිටියේය.

ඉන් අනතුරුව සහකාර ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් රවි මිෂ්රා මහතා සහ ‘ජමුනා’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් එච්ඒ හාර්ඩස් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු වූහ. එහිදී ඔවුන් ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳි සිටින කාලය තුළ ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්‍ෂා කර ඇත. තවද, ‘ජමුනා’ නෞකාව දිගින් මීටර් 85.774 කින් සහ පළල මිටර් 12.82 කින් යුක්ත වන අතර, නිලධාරින් සහ නාවිකයින් 230 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි.