අයහපත් කාලගුණයෙන් විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදා සහාය
 

මෙම දිනවල කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට එම ප්‍රදේශවල සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. එමෙන්ම මේ වන විට ඩිංගි යාත්‍රා 09 ක් සහිත නාවික සහන කණ්ඩායම් 06 ක් ඊයේ (දෙසැම්බර් 22) දින සිට අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර, ඉරණමඩු, ශාමිකුලම්, ඔඩ්ඩුසුඩාන් සහ වසන්තම්පුරම් යන ප්‍රදේශයන්හි ගංවතුර තත්වය හේතුවෙන් අවතැන්ව සිටින දමිල ජනතාව සඳහා සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේවන විට අවතැන්ව සිටි සිවිල් වැසියන් 103 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා නාවික සහන කණ්ඩායම් කටයුතු කරන ලදී.

තවද, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි ගැබිණි මාතාවක් කඩිනමින් ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරන ලද අතර, එම ක්‍රියාව දමිල ජනතාවගේ විශේෂ ඇගයිමට ද ලක් වන ලදී. එමෙන්ම තව දුරටත් අයහපත් කාළගුණික තත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.