ශ්‍රීලංනානෞ පරාක්‍රම සංවත්සරයට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ 36 වන සංවත්සරය පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදි තිබූ අතර, ඒ වෙනුවෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා මහතා ඇතුළු නැව් මුළුව විසින් සංවිධානය කරනු ලැබූ සමාජ සත්කාරක වැඩසටහන්වල තවත් එක් පියවරක් වශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් 24 වන දින ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සිදු කෙරිණි.

බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම උතුම් කර්තව්‍ය සිදු කරන ලද අතර, නාවික පුද්ගලයන් මෙන්ම නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ. තවද, මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය සහ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දෙන ලදී.