වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද දින (ජනවාරි 01) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත. ජනාධිපති නිල නිවසේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අභිනව නාවික හමුදාධිපතිවරයා සිය පත්වීමේ ලිපිය ඊයේ (දෙසැම්බර් 31) ලබා ගන්නා ලදී. ඒ අනුව, අද දින සිට එතුමා සිය නාවික හමුදාධිපති ධූරයේ රාජකාරී අරඹනු ඇත.

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන අතර, එතුමා 1984 වර්ෂයේදී 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1986 වර්ෂයේ පෙබරවාරි මස 11 වන දින එතුමා උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ලදී. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2012 වර්ෂයේ නොවැම්බර් මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් කරන ලදී. තවද, එතුමන් ගැඹුරු මුහුදේ කිමිදුම් හා ගලවා ගැනීම් මෙන්ම මුහුදු බෝම්බ නිශ්ක්‍රිය කිරීම පිළිබඳ විශේෂඥ පාඨමාලාවක් හදාරා ඇති අතර, එමඟින් ලද පන්නරය සහ අත්දැකිම් තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම සිය මාතෘ භූමියට ප්‍රශංසනීය සේවයක් ඉටු කළ ආදර්ශමත් නිලධාරියෙකු ලෙස හැඳින්විය හැක. ආපදා කළමණාකරණය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති ඔහු, රටේ ආපදා ඇති වූ අවස්ථාවන්හිදී ඔහුගේ දායකත්වය නිරන්තරයෙන්ම ලබා දී ඇති පුද්ගලයෙකි.

නාවික නිලධාරියෙකු වශයෙන් සිය මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ පදක්කමින් දෙවතාවක් පිදුම් ලැබූ හෙතම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් රාශියකින් ද සම්මානයන්ට පාත්‍ර වී ඇත. තවද, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර කළමණාකරණය මෙන්ම යුද්ධෝපාය සහ ආරක්ෂක විද්‍යාවේදී උපාධීන් හට හිමිකම් කියන එතුමන් චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාපති උපාධියක් ද හිමි කර ගෙන ඇත. එමෙන්ම, සෑම අතින්ම දක්‍ෂ ක්‍රීඩකයෙකු වන ඔහු, ඔහුගේ සේවා කාලය තුල අවස්ථා දෙකකදී නාවික හමුදාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ඇත. තවද, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම දකුණු ආසියානු සහ ආසියානු පැසිපන්දු තරඟාවලි සඳහා ද සහභාගීවී ඇත.

නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමට ප්‍රථම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරී ඉටු කරන ලද එතුමන්, ඊට පෙර නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් මෙන්ම ධජ නිලධාරී නාවික දියත් විධානය, නැගෙනහිර, දකුණු, වයඹ සහ උතුරු යන විධානයන්හි ආඥාපති මෙන්ම විවිධ නෞකා, යාත්‍රා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී ඇතුළු තනතුරු රාශියක් හොබවා ඇති අතර විශේෂයෙන්ම, නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය හා කිමිදුම් ඒකකයන් සඳහා අවස්ථා කිහිපයකදීම අණ ලබා දී ඇත.