ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව ගාල්ල වරායට පැමිණේ
 

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (ජනවාරි 04) ගාල්ල වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ‘ජමුනා’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් එච්ඒ හාර්ඩස් මහතා දකුණු නාවික විධාන මූලස්ථානයේදී, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා හමු විය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියනු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගි විය.