නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතු වල නිරත වීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 01 වන දින යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පදුරක් යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය. එහිදී C- 4 සහ TNT මිශ්‍ර කර සාදන ලද චාජර් 7 ක්(බර කිලෝග්‍රෑම් 1.495), විදුලි නොවන ඩෙටනේටර් (Non Electrical Detonator) 4 ක් සහ අගල් 1.5 කින් යුත් සේෆ්ට් පියුසයක් (Safety fuse) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය ජනවාරි 02 වන දින දඩැල්ල ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 0.5 පමණ වූ මුහුදු පුදේශයේ නිති විරෝධි ධිවර කටයුතුවල නිරතවු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී මසුන් මැරීම සඳහා භාවිතා කිරීමට තහනම් කර ඇති Speargun උපකරණයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ජනවාරි 02 වන දින බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පස්යාල පුදේශයේ මත් කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී හෙරෝයින් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 86 සහ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, මත්කුඩු සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය ජනවාරි 05 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 4 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ධීවර අවසරපත් නොමැතිව ධිවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.